Saturday 19 May 2018

ඉදිකිරිම් නීතියට පෙරවදනක්


1)      නීතිය යනු

නීතිය යනු මානව චර්‍යාවන් නියාමනය උදෙසා පනවා ඇති නියමයන්ය. මානව ක්‍රියාකාරකම් නිසා ලැබුණු අත්දැකිම් නිසාවෙන් පැනවුණු මෙම නියමයන්,  මානවයාගේ උප්පත්තියේ සිට විපත දක්වාත්, ඉන් පසුවත් බලපායි. සමාජයේ හර පද්ධතියක් ලෙසින්ද ක්‍රියාකරන  නීතිය, සමාජයේ සංවර්ධනයට රුකුලක් වන අතරම සමාජයේ සාමාජිකයින් අතර බැදිම ඇති කරයි. විටෙක සමාජයේ යහපත උදෙසා  මානව පැවතුම සිමාකරන අතර   එයට අනුකූල නොවන අයව දඬුවම් කරයි/සමාජයෙන් බැහැර කරයි. 

2)      නීති පද්ධති (legal systems)

ලෝකයේ ඇති නීති පද්ධතින් කිහිපයකි. ඒවායින් ප්‍රධානතම නීති පද්ධතින් දෙක නම් සිවිල් නීති පද්ධතිය (Civil Law system) හා පොදු නීති පද්ධතියයි (Common Law system). රෝම අධිරාජ්‍යයෙන් බිහිවු සිවිල් නීති පද්ධතිය වර්තමානයේ ප්‍රංශය, ජර්මනිය හා මැදපෙරදිග ඇතුළු රටවල ගණනාවක බල පැවැත්වේ. සිවිල් නීති පද්ධතින්හිදි නීතිය ලෙස බලාත්මක කල හැක්කේ, ව්‍යවස්ථාව (Constitution) හා ව්‍යවස්ථාදායකය (legislature, e.g. Parliament) විසින් සම්මත කර ඇති නීතින්ය. පොදු නීතියේ මෙන් අධිකරණයේ නඩු තීන්දු තුලින් නීතින් බිහි නොවේ.
පොදු නීති පද්ධතින්වලදි ව්‍යවස්ථාව හා ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ඇති නීතින් (උදා: 1995 අංක  11 දරණ බේරුම් කරණය පිලිබදව පනත -Arbitration Act) වලට අමතරව අධිකරණයේ නඩු තීන්දු තුලින් ද නීතින් බිහි වේ (උදා: වේග සිමා ලකුණු කර නැති මාර්ගවලදි අධික වේගයෙන් ගමන් කිරීමේ වරදට දඬුවම් පැමිණිය නො හැක යන්න පසුගිය කාලයේ ලබා දුන් නඩු තීන්දුවකින් බිහිවු නීතියකි ). එනම් නීතින් බිහිවිමේ මුලාශ දෙකකි, අධිකරණය හා ව්‍යවස්ථාදායකය.

3)      පොදු නීති පද්ධතියේ (Common legal system) ප්‍රභේද

පොදු නීතියේ ප්‍රභේද ගණනාවකි, ඒ අතුරින් ප්‍රධානතම දෙක නම්, රාජ්‍ය නීතිය(Public Law) හා පෞද්ගලික නීතියයි (Private Law). පෞද්ගලික නීතිය රටේ පුරවැසියන් අතර ඇති සම්බන්ධකම්වලට බලපාන අතර රාජ්‍ය නීතිය රජය හා එහි පුරවැසියන් අතර ඇති සම්බන්ධතාවට බලපායි. ව්‍යවස්ථා නීතිය (Constitution), පරිපාලන නීතිය (Administrative law), අපරාධ නීතිය (Criminal Law) හා පටිපාටි නීතිය (Procedural Law), රාජ්‍ය නීති සදහා උදාහරණ වන අතර සිවිල් නීතිය (Civil Law), සේවා නියුක්ති නීතිය (Employment Law) හා සමාගමි නීතිය (Company Law), පෞද්ගලික නීති සදහා උදාහරණවේ.
එමෙන්ම හරවත් නීතිය (Substantive Law) හා පටිපාටි නීතිය(Procedural Law) ලෙසින් ද නීතිය වර්ග කරයි. හරවත් නීතිය පාර්ශවයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර පටිපාටි නීතිය එම  අයිතිවාසිකම් ලබාගැනීමට උපකාර වේ. පටිපාටි නීතියේ ඇත්තේ යම් නඩුවක් ගොනු කිරීමේ හා එයට අදාළ ක්‍රියා පටිපාටියයි (උදා: පාර්ශවයක් අධිකරණයට කැඳවන ආකාරය ). හරවත් නීතියේ ඇත්තේ පාර්ශවයන්ගේ අයිතිවාසිකම්  ලබාගැනීමට අදාළ විධිවිධානයි (උදා: වන්දි ලබාගැනීමේ අයිතිය). සාක්ෂි පනත පටිපාටි නීතිය යටතේ වන අතර ගිවිසුම් නීතිය(Contract law) හරවත් නීතිය  යටතේ වේ.

4)      අපරාධ නීතිය හා සිවිල් නීතිය

සමහර මානවයින්ගේ හැසිරිම තවත් එක් මානවයෙකුට හෝ කිහිපදෙනෙකුට පමණක් බලපාන අතර (පෞද්ගලික හබ) සමහරෙකුගේ හැසිරිම  ඉන් ඔබ්බට ගොස් සමස්ථ සමාජයටම බලපායි(සාමාජයික හබ).
මෙම සමාජයික හබ සමාජයේ පදනමට අහිතකර ලෙස බලපාන බැවින් එම සමාජ විරෝධි ක්‍රියා 'සාපරාධී 'ක්‍රියා ලෙස සැලකෙන අතර ඒවා නීතිය 'අපරාධ' නීතිය (Criminal Law) යටතට ගැනේ. පෞද්ගලික හබ අයත් වන්නේ 'සිවිල්' නීතිය(Civil Law) යටතටයි. අපරාධ නීතිය යටතේ නඩු ගොනු කරනු ලබන්නේ රජය(පොලිසිය) විසින් වන අතර සිවිල් නීතිය යටතේ නඩු ගොනු කරනු ලබන්නේ අගතියට පත් පුද්ගලයා විසිනමය. ශ්‍රී ලංකාවේ නම් මහේස්ත්‍රාත් අධිකරණයේ (Magistrate Court) විභාග කරන්නේ අපරාධ නීතිය යටතේ ගොනු කෙරෙන නඩු වන අතර ප්‍රාථමික අධිකරණයේ (Primary Court) විභාග කරන්නේ සිවිල් නීතිය යටතේ ගොනු කෙරෙන නඩුය. එහෙත් උපරිම අධිකරණයන් වන, අභියාචනාධිකරණය (Appeal Court) හා ශ්‍රේෂ්ඨාධිකරණයේ (Supreme Court) මෙම වර්ග දෙකේ ම නඩු විභාග කරයි. අපරාධ නීතිය යටතේදි අධිකරණයෙන් වරද කරුට දඬුවම් ලබා දෙන අතර (උදා: සිර ගත කිරිම), සිවිල් නීතිය යටතේදි අධිකරණයෙන් අගතියට පත් පාර්ශවයට ප්‍රතිකර්ම කරයි (උදා: වන්දි ගෙවිම ). සිවිල් නීතිය යටතේ එන ප්‍රධානතම අංශ දෙක නම් කොන්ත්‍රාත් නීතිය (Contract Law) හා දිලික්ත/ තෝරත නීතියයි (Tort).

5)      කොන්ත්රාත් නීතිය (Contract law)

ගිවිසුමක්(Agreement) යනු නීතියෙන් බලාත්මක (Enforce) කල හැකි පොරොන්දුවක් (promise) හෝ පොරොන්දු මාලාවකි. මෙසේ ගිවිසුම් පිලියල කිරීමට හා ඒවා බලාත්මක කිරීමට අදාළ නීතිය කොන්ත්‍රත් නීතියයි(Contract Law).
උදා: ගිවිසුමක් නීතිය ඉදිරියේ බලාත්මක කිරීමට නම් එහි, අර්පණයක්(Offer), ප්‍රතිග්‍රහණයක්(Acceptance), ප්‍රතිෂ්ඨාවක්(Consideration), නෛතික චේතනාව(Legal intention) හා ගිවිසුම් ශක්නුතාවය (Capacity) යන මූලිකාංග තිබිය යුතුයි.

6)      දිලීක්ත/ තෝරත නීතිය (Law of Tort)

හානි පුර් ණයට අදාළ නීතිය දිලීක්ත(Delict) /තෝරත(Tort) නීතියයි. දිලික්ත නීතිය රෝම ලන්දේසි නීති (Roman Dutch law) ක්‍රමයෙන් වර්ධනයවු නීතියක් වන අතර එයට අනුරුප ඉංග්‍රිසි නීතිය (English Law) තෝරත නීතියයි. ලංකාවේ ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ දිලික්ත නීතිය වුවද එයට තෝරත නීතිය බලපා ඇත.
උදාහරණයක් ලෙස වාස්තුවිද්‍යාඥයාගේ සැලසුමේ වරදකින් සේවා යෝජකයාට යම් අලාභයක් වුවහොත් එම අලාභය/හානිය දිලික්ත නීතිය යටතේ එන නොසැලකිල්ල (Negligence)  නිසාවු හානියක් ලෙස සලකන අතර, එය දිලික්ත නීතිය යටතේ අයකර ගත හැකි වේ.

7)      ඉදිකිරීම් නීතිය (Construction Law)

ඉදිකිරීම් නීතිය යනු ඉහත කතා කල ආකාරයේ නීතියේ එක් ප්‍රභේදයක් ලෙස නො සැලකේ. එය ඉදිකිරීම් ක්ෂේත්‍රයට සෘජුවම සම්බන්ධ හා එයට බලපාන නීති ප්‍රබේදයන්ගේ එකතුවකි. කොන්ත්‍රත් නීතිය, දිලික්ත නීතිය, ගැටුම් නිරාකරණයට සම්බන්ධ නීති, ගොඩනැගිලි සැලසුම්කරණයට හා අනුමැතියට අදාල නීති, සේවා නියුක්තියට අදාල නීති, දේපල සම්බන්ධ නීති එහි ප්‍රධාන පාර්ශව වේ. එහෙත් එහි සිමාවක් හෝ ඉදිකිරීම් නීතිය යන්නට එක් නිශ්චිත අර්ථකතනයක් නැත.

මූලාශ්‍ර:
1.       පලිහපිටිය, E.D. 2016. වාණිජ/ව්‍යාපාර නීතිය (4වන සංස්කරණය).
5.       https://en.wikipedia.org/wiki/List_of_national_legal_systems
Related Posts with Thumbnails