Friday 9 October 2020

ප්‍රමාණිකෘත නාශවන්දි(liquidated damages)

ප්‍රමාණිකෘත නාශවන්දි(liquidated damages) 

ප්‍රමාණිකෘත නාශවන්දි(liquidated damages)  හි අරමුණ කොන්ත්‍රාත්කරු විසින් ව්‍යාපෘතිය නිම කිරීම පමා කළ හොත්, ඒ නිසාවෙන් සේවායෝජකයාට වෙන හානිය(Loss) ප්‍රතිපුර්ණය කරගැනීමයි. එයට  අමතරව  කොන්ත්‍රාත්කරු ව්‍යාපෘති නිසි කාලය තුළ නිම කිරීමටද liquidated damages අභිප්‍රේරකයක්(Motivation ) වෙනවා.

ප්‍රමාණිකෘත නාශවන්දි (liquidated damages)  යනු සාධාරණ (Genuine) ලෙස,කලින්   ඇස්තමේන්තු(Pre estimated) කරන ලද, ව්‍යාපෘතිය පමා වුවහොත් සේවායෝජකයාට සිදුවන පාඩුවයි(Loss).

මෙම ඇස්තමේන්තුවෙන් නිරූපණය වන්නේ කොන්ත්‍රාත්තුවට එළඹීමට පෙර සේවායෝජකයා විසින් දන්නා තොරතුරු අනුව ගණනය කරන ලද කරන ලද එකක මුදල් ප්‍රමාණයකි(Rate), උදා; දිනකට රු. 20,000 බැගින්. එයට සත්‍ය වශයෙන්ම ව්‍යාපෘතිය පමා වීමෙන් පසුව සේවායෝජකයා ලබන සත්‍යය අලාභය(Actual loss) අදාල වන්නේ නැත.එනම් ව්‍යාපෘතීය පමා වීම නිසා  සේවායෝජකයන් සත්‍ය වශයෙන් ලබන පාඩුව, කොන්ත්‍රාත්තුවේ සඳහන් ප්‍රමාණිකෘත නාශවන්දි ( liquidated damage) එකක  මුදලට(Rate) වඩා අඩු වූවද, කොන්ත්‍රාත්කරු විසින් කොන්ත්‍රාත්තුවේ සදහන් එකක මුදල අනුව ගණනය කල මුදල සේවායෝජකයා වෙත ගෙවිය යුතුය. මෙය සනාථ කර ලද සුප්‍රසිද්ධ නඩු තීන්දුවක් වන්නේ Dunlop Pneumatic Tyre Ltd v New Garage & Motor Co Ltd [1915] AC 79 නඩුවයි. 
උදාහරණයක් ලෙස නිවසක් ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුවක ප්‍රමාණිකෘත නාශවන්දි ( liquidated damage) එකක  මුදල(Rate) සදහන් වන්නේ මසකට රු. 50,000 බැගින් (ඒ සේවායෝජකයා සිටින කුලි නිවෙසට ගෙවන කුලී මුදල් ප්‍රමාණය), ඉදිකිරිම් පමාවූ නමුත් එම පමාවු මාස 2 ඔහු පදිංචිව සිටියේ ඔහුගේ මිතුරෙකුගේ නිවසේ නිසා ඔහුට සත්‍යවශයෙන්ම කුලී මුදල් ගෙවීමට සිදු වුණේ නැහැ, එසේ වුවද සේවායෝජකයාට කොන්ත්‍රාත්කරුගෙන් මසකට රුපියල් 50,000 බැගින් මාස දෙකක කාලයක් සඳහා  ප්‍රමාණිකෘත නාශවන්දි ( liquidated damage) අය කරගැනීමේ අයිතිය තිබෙනවා.

මෙම සිද්ධාන්තය සේවායෝජකයා හා ප්‍රධාන කොන්ත්‍රාත්කරු අතර ඇතිවන ගිවිසුම් වලට පමණක් නොව ප්‍රධාන කොන්ත්‍රාත්කරු හා උපකොන්ත්‍රාත්කරුවන්  අතර ඇතිවන ගිවිසුම් වලට ද අදාලයි.

එනම් උප කොන්ත්‍රාත්  ගිවිසුම් වල ප්‍රමාණිකෘත නාශවන්දි (liquidated damages) සඳහන් කර ඇති විට, ප්‍රධාන කොන්ත්‍රාත්කරු ට සත්‍ය ලෙසම අලාභයක් සිදු නොවූවද , කොන්ත්‍රාත්තුවේ සඳහන් ප්‍රමාණිකෘත නාශවන්දි ( liquidated damages) එකක මුදලට අදාල මුදල අයකර ගැනීමට ප්‍රධාන කොන්ත්‍රාත්කරු ද අයිතියක් ඇත.  Comfort Management Pte Ltd v OGSP Engineering Pte Ltd [2020] SGHC 165, නඩු තීන්දුවේ දී මෙය සනාථ කර ඇත.එම නඩුවේ දී සේවායෝජකයා විසින් ප්‍රධාන කොන්ත්‍රාත්කරුගෙන් liquidated damage අය නොකළ ද, ප්‍රධාන කොන්ත්‍රාත්කරුට සිය උප කොන්ත්‍රාත්කරුගෙන් ප්‍රමාණිකෘත නාශවන්දි (liquidated damage) අය කළ හැකි බව තීරණය විය.

ප්‍රමාණිකෘත නාශවන්දි(liquidated damage) සෑම විටම සාධාරණ ඇස්තමේන්තුවක් විය යුතුය, කොන්ත්‍රාත්තුව පිළියෙල කිරීමේදී උපදේශන ප්‍රමාණ සමීක්ෂක විසින් සේවා යෝජකයාගේ  ආයතනයේ අනිකුත් අංශවලින් (උදා.මුල්‍ය , ඉංජිනේරු) අවශ්‍ය තොරතුරු  ලබාගෙන ප්‍රමාණිකෘත නාශවන්දි ( liquidated damage ) එකක මුදල ඇස්තමේන්තු කළ යුතුය. සමහරු කොන්ත්‍රාත් මුදලින් ප්‍රතිශතයක් ලෙස ප්‍රමාණිකෘත නාශවන්දි (liquidated damage) ගණනය කරමුත් එය නිවරදි නොවේ. සමහර අවස්ථාවල මෙම මුදල උපරිම මුදලකට සිමා කෙරේ උදා: දිනකට රු. 20,000 බැගින් උපරිමයෙන් කොන්ත්‍රාත් මුදලින් 10% පමණ වන තෙක්.


Saturday 3 October 2020

සයිට් කතා 2 (පස් පව්ු)

ප්‍රමාණ බිල්පතක් පිළියෙල කරන කොට Preliminary  Bill එකේ වැඩ බිමේ නවාතැන් (site accommodation) කියලා එක අයිතමයක් (Item)  අඩංගු කරනවා. මේ නවාතැන් ලබාදිමේදි, කම්කරුවන්ට එක නවාතැනකුත්, තාක්ෂණික නිලධාරීන් හා අධීක්ෂකවරු සඳහා තව නවාතැනකුත්,  ඉංජිනේරු නිලධාරීන් සඳහා වෙනම නවාතැනකුත් ලබාදීම තමයි බොහෝ වැඩ බිම්වල සිදුවන්නේ. දුර බැහැර තිබෙන  වැඩබිම්වල නවාතැන් වල  සතියෙ අන්තිම දවසේ මධු විත සාද පැවැත්වීම සාමාන්‍යයෙන් සිදු කරන දෙයක්.

අලුතින් පුහුණුව සඳහා ගිය පුහුණු ප්‍රමාණ සමික්ෂකවරයාටත් මෙහෙම පැවැත්වුණු  සාදයකට  සම්බන්ධ වෙන්න වුණා. සාදය නැගලා යනවා, ඒ අතරේ එතැන හිටපු එක් අයෙක් මෙහෙම කතාවක් කියනවා.

"මහත්තයා මම කවදාවත් පස් පවු කරලත් නෑ,  කරන්නේත් නැහැ"

එතන හිටපු අනිත් අයත් පස් පව් කරන එක වැරදියි කියන එක අනුමත කරමින් කතා කලා.

"පස්පව් කොට පව් කොට මෙතනත් ලැබ සෝකය

ගොස් නිරයේ දුක් විඳිනා අනේකය රැස්කොට ඉන් පින් මේ මිනිස් ලෝකය

සිස් නොකරව් කලකින් ලත් මේකය"

ලෝවැඩ සඟරාවේ එන මේ කවියෙන් කියවෙන පස් පව් වලට වඩා එතන කතාවෙච්ච පස් පව් වල ලොකු වෙනසක් තියෙනවා කියලා තේරුණු   පුහුණු ප්‍රමාණ සමික්ෂකවරයා ඒ බව එතැන හිටපු තව අයෙක් ගෙන් විමසුවා.

මාර්ග ඉදිකිරීමේ වැඩ බිමක් ගත්තම  ඒකෙන් සෑහෙන්න පස් ප්‍රමාණයක් කැපිලා අයින් වෙනවා, හොඳ ප්‍රමිතියෙන් යුක්ත රතු පසට තිබෙන්නේ ඉහල ඉල්ලුමක්. ඒ ප්‍රදේශයේ  ඉන්න දේශපාලනඥයින්ගෙන් එහෙම නැත්තං පොලිස් නිලධාරීන්ගේ ඒවා ඔවුන්ට ලබාදෙන්න කියලා ඉල්ලීමක් ඉදිරිපත් නැත්තන්, ඒ පස් බොහෝ වෙලාවට ප්‍රදේශයේ ඉන්න අවශ්‍යතාවයක් තියෙන අය ලබාගන්නවා, ඔවුන් ඒ සඳහා මුදලක් වුණත් ගෙවන්න කැමති.හැබැයි දේශපාලනඥයින් ගෙන් ඉල්ලීමක් ඇවිල්ලා ඒක ඉෂ්ට කර නැත්තං වෙන දේ දන්නවනේ, වෙන්නේ දවස් කීපයකට පස්සේ පාරේ ඉදිකිරීම් නිසා ප්‍රදේශවාසීන්ට කරදර වෙනවා ඒ කියලා කට්ටියක් පිකට් කරන්න පටන් ගන්න එක; පොලිසිය ඉල්ලීමක් ඉෂ්ට නොකලොත් නං දිගට හරහට වැඩබිමේ වාහන ටික අල්ලන්න පටන් ගන්නවා .

අන්න එහෙම ප්‍රදේශවාසීන්ට පස් ලබා දෙන කොට ඔවුන්ගෙන් යම් මුදල් ලබාගන්න වැඩබිමේ සමහරු පුරුදු වෙලා තිබෙනවා.එහෙම කරන එක වැරැද්දක් බව දන්න නිසා ඔවුන් කියනවා, පවක් වන නිසා එහෙම ලබා ගන්නා මුදල් වලින් තමන්ගේ පවුලේ අයට කන්න බොන්න වියදම් නොකරන බවත්, නමුත් එම මුදලින් සති අන්තයේ පැවැත්වෙන සාදවලය මත් පැන් ගෙන එන බවත්.

ඔවුන් පස් පව් ලෙස හඳුන්වන්නේ පස් විකුණා ලබන මුදල් සිය පවුල වෙනුවෙන් වියදම් කරන එක.

'පස් පවු නොකරමු!'

Related Posts with Thumbnails