Friday 9 October 2020

ප්‍රමාණිකෘත නාශවන්දි(liquidated damages)

ප්‍රමාණිකෘත නාශවන්දි(liquidated damages) 

ප්‍රමාණිකෘත නාශවන්දි(liquidated damages)  හි අරමුණ කොන්ත්‍රාත්කරු විසින් ව්‍යාපෘතිය නිම කිරීම පමා කළ හොත්, ඒ නිසාවෙන් සේවායෝජකයාට වෙන හානිය(Loss) ප්‍රතිපුර්ණය කරගැනීමයි. එයට  අමතරව  කොන්ත්‍රාත්කරු ව්‍යාපෘති නිසි කාලය තුළ නිම කිරීමටද liquidated damages අභිප්‍රේරකයක්(Motivation ) වෙනවා.

ප්‍රමාණිකෘත නාශවන්දි (liquidated damages)  යනු සාධාරණ (Genuine) ලෙස,කලින්   ඇස්තමේන්තු(Pre estimated) කරන ලද, ව්‍යාපෘතිය පමා වුවහොත් සේවායෝජකයාට සිදුවන පාඩුවයි(Loss).

මෙම ඇස්තමේන්තුවෙන් නිරූපණය වන්නේ කොන්ත්‍රාත්තුවට එළඹීමට පෙර සේවායෝජකයා විසින් දන්නා තොරතුරු අනුව ගණනය කරන ලද කරන ලද එකක මුදල් ප්‍රමාණයකි(Rate), උදා; දිනකට රු. 20,000 බැගින්. එයට සත්‍ය වශයෙන්ම ව්‍යාපෘතිය පමා වීමෙන් පසුව සේවායෝජකයා ලබන සත්‍යය අලාභය(Actual loss) අදාල වන්නේ නැත.එනම් ව්‍යාපෘතීය පමා වීම නිසා  සේවායෝජකයන් සත්‍ය වශයෙන් ලබන පාඩුව, කොන්ත්‍රාත්තුවේ සඳහන් ප්‍රමාණිකෘත නාශවන්දි ( liquidated damage) එකක  මුදලට(Rate) වඩා අඩු වූවද, කොන්ත්‍රාත්කරු විසින් කොන්ත්‍රාත්තුවේ සදහන් එකක මුදල අනුව ගණනය කල මුදල සේවායෝජකයා වෙත ගෙවිය යුතුය. මෙය සනාථ කර ලද සුප්‍රසිද්ධ නඩු තීන්දුවක් වන්නේ Dunlop Pneumatic Tyre Ltd v New Garage & Motor Co Ltd [1915] AC 79 නඩුවයි. 
උදාහරණයක් ලෙස නිවසක් ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුවක ප්‍රමාණිකෘත නාශවන්දි ( liquidated damage) එකක  මුදල(Rate) සදහන් වන්නේ මසකට රු. 50,000 බැගින් (ඒ සේවායෝජකයා සිටින කුලි නිවෙසට ගෙවන කුලී මුදල් ප්‍රමාණය), ඉදිකිරිම් පමාවූ නමුත් එම පමාවු මාස 2 ඔහු පදිංචිව සිටියේ ඔහුගේ මිතුරෙකුගේ නිවසේ නිසා ඔහුට සත්‍යවශයෙන්ම කුලී මුදල් ගෙවීමට සිදු වුණේ නැහැ, එසේ වුවද සේවායෝජකයාට කොන්ත්‍රාත්කරුගෙන් මසකට රුපියල් 50,000 බැගින් මාස දෙකක කාලයක් සඳහා  ප්‍රමාණිකෘත නාශවන්දි ( liquidated damage) අය කරගැනීමේ අයිතිය තිබෙනවා.

මෙම සිද්ධාන්තය සේවායෝජකයා හා ප්‍රධාන කොන්ත්‍රාත්කරු අතර ඇතිවන ගිවිසුම් වලට පමණක් නොව ප්‍රධාන කොන්ත්‍රාත්කරු හා උපකොන්ත්‍රාත්කරුවන්  අතර ඇතිවන ගිවිසුම් වලට ද අදාලයි.

එනම් උප කොන්ත්‍රාත්  ගිවිසුම් වල ප්‍රමාණිකෘත නාශවන්දි (liquidated damages) සඳහන් කර ඇති විට, ප්‍රධාන කොන්ත්‍රාත්කරු ට සත්‍ය ලෙසම අලාභයක් සිදු නොවූවද , කොන්ත්‍රාත්තුවේ සඳහන් ප්‍රමාණිකෘත නාශවන්දි ( liquidated damages) එකක මුදලට අදාල මුදල අයකර ගැනීමට ප්‍රධාන කොන්ත්‍රාත්කරු ද අයිතියක් ඇත.  Comfort Management Pte Ltd v OGSP Engineering Pte Ltd [2020] SGHC 165, නඩු තීන්දුවේ දී මෙය සනාථ කර ඇත.එම නඩුවේ දී සේවායෝජකයා විසින් ප්‍රධාන කොන්ත්‍රාත්කරුගෙන් liquidated damage අය නොකළ ද, ප්‍රධාන කොන්ත්‍රාත්කරුට සිය උප කොන්ත්‍රාත්කරුගෙන් ප්‍රමාණිකෘත නාශවන්දි (liquidated damage) අය කළ හැකි බව තීරණය විය.

ප්‍රමාණිකෘත නාශවන්දි(liquidated damage) සෑම විටම සාධාරණ ඇස්තමේන්තුවක් විය යුතුය, කොන්ත්‍රාත්තුව පිළියෙල කිරීමේදී උපදේශන ප්‍රමාණ සමීක්ෂක විසින් සේවා යෝජකයාගේ  ආයතනයේ අනිකුත් අංශවලින් (උදා.මුල්‍ය , ඉංජිනේරු) අවශ්‍ය තොරතුරු  ලබාගෙන ප්‍රමාණිකෘත නාශවන්දි ( liquidated damage ) එකක මුදල ඇස්තමේන්තු කළ යුතුය. සමහරු කොන්ත්‍රාත් මුදලින් ප්‍රතිශතයක් ලෙස ප්‍රමාණිකෘත නාශවන්දි (liquidated damage) ගණනය කරමුත් එය නිවරදි නොවේ. සමහර අවස්ථාවල මෙම මුදල උපරිම මුදලකට සිමා කෙරේ උදා: දිනකට රු. 20,000 බැගින් උපරිමයෙන් කොන්ත්‍රාත් මුදලින් 10% පමණ වන තෙක්.


No comments:

Post a Comment

මෙම ලිපියට අදාලව ගැන ඔබ දන්නා වෙනත් කරුණු ඇත්ද?එවාද, විෂයට අදාල ඔනැම කරුණක් මෙහි සටහන් කරන්න.
යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.

Related Posts with Thumbnails